Skip to main content

V භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මහා සංඝ රත්නය උදෙසා දෙනු ලබන දානය

අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මහා සංඝ රත්නය උදෙසා දානයේ අග්‍ර වූ කොටස පුජා කර අග්‍ර වූ පින් රැස් කල හැකි උතුම් වූ දුර්ලභ අවස්ථාවක් තමයි අපිට මේ ලැබී තියෙන්නේ.

මේ මනුෂ්‍ය ජීවිතය තුල බුදුකෙනෙකුගේ ධර්මය අහන්න ලැබීමත් ඉතාමත් දුර්ලභ දෙයක්. ඒ වගේම අප භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මාර්ගයේ ගමන් කරන උතුම් ශ්‍රී සංඝ රත්නය උදෙසා දන් පුජා කරගන්න ලැබීමත් ඉතාමත් දුර්ලභ වූ දෙයක්. අද භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මහා සංඝ රත්නය උදෙසා දෙනු ලබන දානයෙන් අපේ ජීවිතයට ලද හැකි පුන්‍ය ගංගාව ගැන කතා කරන්නේ. දානය ගැන බොහෝ කරුණු අප භාග්‍යවතුන් වහන්සේගේ සුත්‍ර දේශනාවල සඳහන් වෙනවා. අනේපිඬු සිටුතුමා, විශාකා මහෝපාසිකාව, සුප්පියා උපාසිකාව ආදීන් දිනපතා භික්ෂූන් වහන්සේලාට දන් දුන්නා. අනේපිඬු සිටු මාළිගාවේ දිනපතා දෙදහසක් භික්ෂූන්ට දන් දුන්නා. විශාඛාව ද සුප්පියා ද දිනපතා පන්සියයක් භික්ෂූන්ට දන් දුන්නා.

අප භාග්‍යවතුන් වහන්සේ චක්ක නිපාතයේ එන ආවරණ සුත්‍රයේ වදාළා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී දෙසන උතුම් ශ්‍රී සද්ධර්මය දියුණු කරගැනීමට නොහැකි වීම පිණිස ආවරණය වී යන කරුණු සයක් ගැන. අප භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේ සිටියා මතිකාමාතා උපාසිකාව. මේ උපාසිකව කුටි සැනසුම් හැදුවා. සඟ සතු වෙහෙරක් කරලා පුජා කළා. ස්වාමීන් වහන්සේලා වැඩියා. වස් කාලයේ ස්වාමීන් වහන්සේලා මතිකා මාතා උපාසිකාවට ධර්මය දේශනා කරනවා. උපාසිකාව ධර්මය අවබෝධ කළා. උපාසිකාව අනාගාමී වුණා. ඊට පස්සේ උපාසිකාව බැලුවා ස්වාමීන් වහන්සේලාගේ සිත් මොන වගේද කියලා. ස්වාමීන් වහන්සේලා ධර්මය අවබෝධ කරගෙන නැහැ. මාතිකා මාතා උපාසිකාව බැලුවා ඇයි උන්වහන්සේලාට ධර්මය අවබෝධ කරගන්න බැරි කියළා. උන්වහන්සේලාට ධර්මය අවබෝධය කරා යෑම පිණිස අවශ්‍ය පහසුකම් අඩුයි. සක්මන් මළුව අඩුයි. කුටි සැනසුම් වල අඩුපාඩු තියනවා. දාන මාන හරියට ලැබෙන්නේ නැහැ. මතිකාමාතා උපාසිකාව අඩුපාඩු ටික හදලා දුන්නා. වස් කාළය අවසන් වෙනකොට ස්වාමීන්වහන්සේලා සියල්ලම උතුම් වූ අරහත්වය සක්ෂාත් කරගන්නවා. අපිට හිතෙනවද මෙවගේ අඩුපාඩු පවා ධර්ම මාර්ගයේ දියුණුවට බලපානවා කියළා. උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන ඒ ශ්‍රාවක සංඝ රත්නයට දානය පුජා කීරීමෙන් උන්වහන්සේලාට ධර්ම මාර්ගයේ ගමන් කිරීමට උපකාරයක් තමයි අපි කරන්නේ. ඒ උතුම් උපකාරය අපිට ධර්ම මාර්ගයේ ගමන් කිරිමට පිහිට පිණිස පවතිනවා.

මජ්ජිම නිකායේ එන දක්ඛින විභංග සුත්‍රයේ අප භාග්‍යවතුන් වහන්සේ දානය ගැන විග්‍රහ කොට වදාලා. ශාක්‍ය ජනපදයේ කපිලවස්තුවේ නීග්‍රෝධාරාමයේ අප භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින විට අප භාග්‍යවතුන් වහන්සේ ගේ සුළු මව වූ මහා ප්‍රජාපතී දේවිය අරභයා දේශනා කොට වදාලා. අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ දන් දිය හැකි ආකාර දාහතරක් ඇති බව. එ් තමයි,
1. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකට පිරිනමන දානය
2. පසේබුදුරජාණන් වහන්සේලාට පිරිනමන දානය
3. තථාගත ශ‍්‍රාවක වූ රහතන් වහන්සේලාට පිරිනමන දානය
4. අරහත් මාර්ගයේ ගමන් කරන උතුමන් වහන්සේලාට පිරිනමන දානය
5. අනාගාමී උතුමන්ට පිරිනමන දානය
6. අනාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට පිරිනමන දානය
7. සකදාගාමී උතුමන්ට පිරිනමන දානය
8. සකදාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට පිරිනමන දානය
9. සෝතාපන්න උතුමන්ට පිරිනමන දානය
10. සෝතාපන්න මාර්ගයේ ගමන් කරන සද්ධානුසාරී, ධම්මානුසාරී උතුමන්ට පිරිනමන දානය
11. කාමයන් කෙරෙහි නො ඇලී සිටින බුදු සසුනින් පරිබාහිර අයට පිරිනමන දානය
12. පෘථග්ජන, සිල්වත් අයට පිරිනමන දානය
13. පෘථග්ජන, දුස්සීල අයට පිරිනමන දානය
14. තිරිසන් සතුන්ට පිරිනමන දානය

ඊ ළඟට භාග්‍යවතුන් වහන්සේ පෞද්ගලික දානවලින් ලැබෙන ආනිශංස පිළිබඳව සංසන්දනාත්මකව පෙන්වා වදාළා.
තිරිසන් සතෙකුට දානය දුන් විට ආනිශංස සියයක් ලැබෙනවා
පෘථග්ජන දුස්සීල කෙනෙකුට දානය දුන් විට ආනිශංස දාහක් ලැබෙනවා
පෘථග්ජන සිල්වත් කෙනෙකුට දානය දුන් විට ආනිශංස ලක්‍ෂයක් ලැබෙනවා
කාමයන් කෙරෙහි නො ඇලී සිටින බුදු සසුනින් පරිබාහිර කෙනෙකුට දානය දුන් විට ආනිශංස කෝටි ලක්‍ෂයක් ලැබෙනවා
සද්ධානුසාරී, ධම්මානුසාරී උතුමන්ට පිරිනමන දානයෙන් ලැබෙන ආනිශංස ප‍්‍රමාණ කරන්නට බැහැ
සෝතාපන්න උතුමන්ට දන් පිරිනැමීමෙන් ලැබෙන ආනිශංස ගැන කවර කතා ද.
එ් වගේ ම, සකදාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට, සකදාගාමී උතුමන්ට, අනාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට, අනාගාමී උතුමන්ට, අරහත් මාර්ගයේ ගමන් කරන උතුමන්ට, රහතන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, සම්මා සම්බුදුරජාණන් වහන්සේට පිරිනමන දානයේ ආනිශංස ගැන කවර කතා ද යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. දානයකින් ලැබෙන ආනිශංස කෙරෙහි දානය ලබන අය තුළ පවතින ගුණ ධර්ම ඍජුව ම බලපාන බව මෙයින් පැහැදිලි වෙනවා.

තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකට පිරිනමන දානය උතුම් අග්‍රතම දානය වෙනවා. දූතීය කෝසල සුත්‍රයේ සඳහන් වෙනවා කොසොල් රජතුමා අප භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්න ඇවිත් අප භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වර්ණනා කරනවා. කොසොල් රජතුමා කියනවා අප භාග්‍යවතුන් වහන්සේ ආහුනෙයියයි පාහුනෙයියයි දක්ඛිනෙයයි. භාග්‍යවතුන් වහන්සේ ඉතා දුර සිට ගෙනෙන ලද සිව්පසේ පිළිගැනීමට සුදුසුයි. තමා සතු ප්‍රණීත දෙයින් සංග්‍රහ, සත්කාර, පූජා කිරීමට සුදුසුයි. මෙලොව පරලොව සැපවත් වීම උදෙසා කරන සියළු පූජාවන් පිළිගැනීමට සුදුසු බැවින්, දීමෙහි ආනිසංස මහත් පල මහානිසංස කිරීමෙහි සමත්. ඒ නිසා අප භාග්‍යවතුන් වහන්සේට මන් නමස්කාර කරනවා. ඒ නිසා අප භාග්‍යවතුන් වහන්සේට මම මෛත්‍රී සහගතව උපහාර දක්වනවා. මේ ආකාරයට අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ කොසොල් රජතුමා වර්ණනා කරනවා.

අප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පිරිනමන දානය උතුම්. අප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග ද්වේශ මෝහ නසා, සියලු ආශ්‍රවයන් නසා උතුම් අර්හත්වයට පත් වූ උතුම් මුණිඳාණන්මයි. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව, තමන් වහන්සේ තුළින් ම උපදවා ගත් ඤාණයෙන් චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූ මුණිඳාණන්මයි. පුබ්බේ නිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය, තථාගත දසබල ඤාණ, සිව් විශාරද ඤාණ, යමක මහා ප්‍රාතිහාර්යය ඤාණ, මහා කරුණා සමාපත්ති ඤාණ ආදී උතුම් අසිරිමත් නුවණින් යුතුව, මනා හැසිරීමෙන් යුතුව, විජ්ජා චරණ සම්පන්න වූ මුණිඳාණන්මයි. සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ඣංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් මනාව දියුණු කොට අමා නිවනට පැමිණි මුණිඳාණන්මයි. සියලු බ්‍රහ්ම ලෝක, සියලු දිව්‍ය ලෝක, මේ මිනිස් ලෝකය, සතර අපාය ආදී ලෝකයන් ද ස්කන්ධ ලෝක, ධාතු ලෝක, ආයතන ලෝක ආදී සකල ලෝකයන් අතැඹුලක් සේ අවබෝධ කොට ඒ සියලු ලෝකයෙන් නිදහස් වී ගිය මුණිඳාණන්මයි. දමනය වීමෙහිලා දුෂ්කර වූ නමුත් ධර්මාවබෝධයට පින් ඇති දෙව් මිනිස් සත්වයන් ඉර්ධි ප්‍රාතිහාර්යය බලයෙන් ද, ආදේශනා ප්‍රාතිහාර්යය බලයෙන් ද, අනුශාසනී ප්‍රාතිහාර්යය බලයෙන් ද දමනය කොට දහමෙහි කීකරු කරවා අමා සුවයට පමුණුවාලූ මුණිඳාණන්මයි. නුවණැති දෙවියන්ගේ ද, නුවණැති මිනිසුන්ගේ ද එකම ශාස්තෘන් වහන්සේමයි. මනාකොට අවබෝධ කරන ලද චතුරාර්ය සත්‍යය ධර්මය අන් අයට ද එලෙසින් ම අවබෝධ කරවූ මුණිඳාණන්මයි. අසිරිමත් සම්බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් මුණිඳාණන්මයි. හිරු සඳු එළිය පරදන ප්‍රඥාලෝකය දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් මුණිඳාණන්මයි. දෙතිස් මහා පුරිස් ලකුණින් බැබළී ගිය විස්මිත වූ රූප කායක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් මුණිඳාණන්මයි. අප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ගුණයන් නිසා  භාග්‍යවතුන් වහන්සේට පුජා කරන දානය අග්‍රයි. මහත් ඵල මහනීසංසයි.

ථෙර ගාථාවල පච්චුක්පට්ඨානක සංචුක මහා රහතන් වහන්සේ විස්තර කරනවා අප භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටියදීත් පිරිනිවන් පා වදාල පසුත් අප භාග්‍යවතුන් වහන්සේගේ අබ ඇටයක් තරම් වූ ධාතුන් වහන්සේලා වෙනුවෙන් මනා කොට හිත පිහිටුවා ගනිමින් සම සිතින් ජීවමාන බුදුරජාණන් වහන්සේ යන හැගීමෙන් යුතුව දානය පුජා කිරිමෙන් මහත් ඵල මහානිසංස වෙනවා කියලා. කථා කරන මිනිසුන් අතර යම් ශ්‍රේෂ්ඨයෙකු වෙතිද, ඒ අවබෝධ කරගතයුතු සියල්ල අවබෝධ කරගත් ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේට පුජා කරන දානය අග්‍රයි. මහත් ඵල මහනීසංසයි.

අප භාග්‍යවතුන් වහන්සේ නාලන්දාවේ පිඬුසිඟා වඩින අවස්ථාවේ වඩින මග නිගන්ඨනාත පුත්ත අසිභන්ධක ගාමීණී එක්ක ඉන්නවා. මේ නාලන්දාවට නියං කාලයක්. කෑම බීම හිඟ කාලයක්. අප භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් භීක්ෂුන් පිරිවරා පිඬුසිඟා වඩින බව දැකලා කියනවා නිගන්ඨනාත පුත්ත අසිභන්ධක ගාමීණීට ආන් බලන්න ශ්‍රමණ ගෞතමයන් පන්සියයක් භීක්ෂුන් පිරිවරා පිඬුසිඟා වඩිනවා මේ දුර්භීක්ෂ කාලයේ. අහන්න කියනවා ශ්‍රමණ ගෞතමයන් මහා කාරුණිකයි කියනවා. මේ නාලන්දාවට නියං කාලයේ මහා කරුණාව නිසාද අහන්න කියනවා පිඬු පිණිස භික්ෂු සංඝයා පිරිවරා වඩින්නේ. ඔය ශ්‍රමණ ගෞතමයන්ගේ මහා කරුණාවද අහන්න කියනවා. අසිභන්ධක ගාමීණී ඇවිත් අහනවා අප භාග්‍යවතුන් වහන්සේගෙන්. අප භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ගාමීණී, තථාගතයන් වහන්සේ මහා භික්ෂු සංඝයා පිරිවරා පිඬු සිඟා වැඩියට මිනිසුන්ගේ දේවල් විනාශ වෙන්නේ නැහැ. හැබැයි විනාශ වෙන්න පුලුවන් මේ මේ දේවල් නිසා කියලා කාරණා අටක් තථාගතයන් වහන්සේ දකිනවා. තථාගතයන් වහන්සේ සිහි කරනවා කල්ප අනූ එකක් අපස්සට. මේ කල්ප අනූ එකක් ආපස්සට සම්බුදු ඇසට පෙන්නේ නෑ කියනවා දන් දීපු කෙනෙක් දුක් විඳිනවා. දන් නොදීපු කෙනෙක් සැප විඳිනවා. යමෙක් සැපක් වින්දානම් ඒ සැප වින්දේ දන් දීමෙන්මයි. සිල් රැකීමෙන්මයි. සත්‍ය වචන කතා කිරීමෙන්මයි. ඒ ආකාරයට අප භාග්‍යවතුන් වහන්සේ දානයේ වටිනාකම වදාලා.

අපි මේ දානය පිරිනමන්නේ අප භාග්‍යවතුන් වහන්සේ ඇතුළු උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන ඒ ශ්‍රාවක සංඝ රත්නය උදෙසා. සාරිපුත්ත, මොග්ගල්ලාන, කාශ්‍යප ආදි නිකෙලෙස් මහරහත් මුනිඳුන් අනුගමනය කරමින් ශාසන ප‍්‍රතිපදාවේ යෙදෙන මහා සංඝරත්නය උදෙසායි අපි මේ දානය පිරිනමන්නේ. ඒ මහා සංඝරත්නය සුපටිපන්නයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. ඒ මහා සංඝරත්නය උජුපටිපන්නයි ඍජු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. ඒ මහා සංඝරත්නය ඤායපටිපන්නයි නිවන් දක්නා වූ ප්‍රතිපත්තියකට පිළිපන්නයි. ඒ මහා සංඝරත්නය සාමීචිපටිපන්නයි ගරු කළ යුතු ප්‍රතිපත්තියකට පිළිපන්නයි. ඒ මහා සංඝරත්නය ආහුනෙයියයි ඉතා දුර සිට ගෙනෙන ලද සිව්පසේ පිළිගැනීමට සුදුසුයි. ඒ මහා සංඝරත්නය පාහුනෙයියයි තමා සතු ප්‍රණීත දෙයින් සංග්‍රහ, සත්කාර, පූජා කිරීමට සුදුසුයි. ඒ මහා සංඝරත්නය දක්ඛිනෙයීයයි මෙලොව පරලොව සැපවත් වීම උදෙසා කරන සියළු පූජාවන් පිළිගැනීමට සුදුසුයි, දීමෙහි ආනිසංස මහත් පල මහානිසංස කිරීමෙහි සමත්. ඒ මහා සංඝරත්නය අන්ජලිකරණෙයියයි ලෝකයා විසින් ඇඟිලි බැඳ, දොහොත් මුදුනෙහි තබා වන්දනාවට, ගරු සත්කාරයට සුදුසුයි. ඒ මහා සංඝරත්නය අනුත්තරං පුන්‍යය කෙතමයි.

එ් වගේ ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා, මහා සංඝරත්නය උදෙසා සඟ සතු කොට දානය පූජා කළ හැකි ආකාර හතක් පිළිබඳව.
1. බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්‍ෂු භික්‍ෂුණී සංඝයාට දානය පූජා කිරීම
2. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව භික්‍ෂු භික්‍ෂුණී සංඝයාට දානය පූජා කිරීම
3. භික්‍ෂු සංඝයාට පොදුවේ දානය පූජා කිරීම
4. භික්‍ෂුණී සංඝයාට පොදුවේ දානය පූජා කිරීම
5. භික්‍ෂු/භික්‍ෂුණී සංඝයාගෙන් යම් පිරිසකට ආරාධනා කොට දානය පූජා කිරීම
6. භික්‍ෂු සංඝයාගෙන් යම් පිරිසකට ආරාධනා කොට දානය පූජා කිරීම
7. භික්‍ෂුණී සංඝයාගෙන් යම් පිරිසකට ආරාධනා කොට දානය පූජා කිරීම
මීට අමතරව තවත් සංඝගත දක්‍ෂිණාවක් සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. අනාගතයේ, බුද්ධ ශාසනයේ නාමයෙන් පෙනී සිටින කසාවත දරාගත් නමුත් ශාසන ප‍්‍රතිපදාවේ නො යෙදෙන, දුස්සීල, පවිටු අදහස්වලින් යුතු අය පහළ වෙනවා. කාසාව කංඨක කියලා තමයි කියන්නේ. එවන් පිරිසකට ආර්ය මහා සංඝරත්නයේ නාමයෙන් දානය පූජා කිරීමත් මහත්ඵල මහානිශංස සහිත සංඝගත දක්‍ෂිණාවන්ට අයිතියි. සංඝගත දක්‍ෂිණාවකින් ලබන ආනිශංස, කිසිම ආකාරයේ පෞද්ගලික දානයකින් ලැබිය නො හැකි බව උන් වහන්සේ පෙන්වා වදාළා. අප භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මාර්ගයේ ගමන් කරන උතුම් ශ්‍රී සංඝ රත්නය උදෙසා දන් පුජා කරගන්න ලැබීම මහත්ඵල මහානිශංස සහිත සංඝගත දක්‍ෂිණාවන්ට අයිතියි.

දානයක් සත්පුරුෂ දානයක් වීමට නම් කාරණා පහක් සම්පූර්ණ විය යුතුයි.                                
1. මනා ලෙස සකස් කොට දානය පූජා කිරීම
2. ගෞරව සම්ප‍්‍රයුක්තව දානය පූජා කිරීම
3. තමන්ගේ අතින් ම දානය පූජා කිරීම
4. අහක නො දමන දෙයක් දන් දීම
5. කර්ම-කර්ම ඵල විශ්වාසයෙන් යුතුව දන්දීම
මේ කාරණා සම්පූර්ණ වුණේ නැත්නම්, දානය සත්පුරුෂ දානයක් වෙන්නෙ නැහැ.

භාග්‍යවතුන් වහන්සේ වදාළා දානය පිරිසිදු භාවයට පත් වෙන්නේ කොහොමද කියලා. යම් කෙනෙක් දානය දෙනවා සිල්වත්ව ගුණවතව සිට. නමුත් ප්‍රතිග්‍රාහක පාර්ශවය පිරිසිදු නැහැ. එවිට දානය පිරිසිදු වන්නේ දායක පාර්ශවයෙන් පමණයි. යම් කෙනෙක් දානයක් දෙනවා තමන් දුස්සීලව ඉදගෙන නමුත් ප්‍රතිග්‍රාහක පාර්ශවය සිල්වත් ගුණවත් උතුමන් වෙනවා. එවැනි දානයකදී ප්‍රතිග්‍රාහක පාර්ශවය පමණක් පිරිසිදු වෙනවා. යමෙක දානය දෙනවා දුස්සීලව සිට තවත් එවැනිම දුස්සීල කෙනෙක්ට. එවැනි දානයකදී දෙපාර්ශවයම අපිරිසිදු වෙනවා. දෙපාර්ශවයම පිරිසිදු වෙමින් යහපත් ගුණවත්ව සිට කර්ම පල විශ්වාස කරමින් ධාර්මිකව උපයා ගත් දෙයින් පහන් සිතින් යුතුව ශීලවන්ත ගුණවන්ත උතුමන් උදෙසා එවැනිම ශීලවන්ත ගුණවන්ත දායකයින් දානය පුජා කළ විට එය මහත් පල මහානීසංස වෙනවා. අප භාග්‍යවතුන් වහන්සේ වදාළා යමෙක් වීතරාගීව සිට රාගයෙන් තොරව සිට, කෙළෙස් වලින් තොරව සිට, දැහැමින් ලැබෙන දෙයින් එනම් ධාර්මිකව හරිහම්බ කල දෙයින්, පහන් සිතින් යුතුව, සිත පහදවා ගෙන, වීතරාගී උතුමන් උදෙසා දානයක් දෙයිද කර්ම පල විශ්වාසයෙන් යුතුව ඒකාන්ත්යෙන්ම දාන අතර අග්‍ර වන්නේ එවැනි දානයක්මයි. එවිට අපට පෙනවා දානය මහත් පල මහානිසංස වීමට මනුෂ්‍යයන්ගේ ගුණ ධර්ම දියුණු කරගැනීම වැදගත් වෙනවා. අප භාග්‍යවතුන් වහන්සේ වදාළා දානය පුජා කිරීමෙන් පසු මගේ සිතේ මසුරුමල දුරු වෙනවා. මසුරුමල දුරු වුනාම මගේ සිතේ චිත්ත ප්‍රසාදය ඇතිවෙනවා. ඒ සතුට මුල් කරගෙන මට චිත්ත සමාධිය ඇතිවෙනවා. ඒ චිත්ත සමාධිය සමථ විදර්ශනාව මුල්වෙලා අප භාග්‍යවතුන් වහන්සේ වදාළා උතුම් ශ්‍රී සද්ධර්මය දකින්න පුලුවන් කියළා ඒ අදහසින් යමෙක් දානය පුජා කල විට එය මනා කොට දෙන ලද දානයක් වෙනවා.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"
"දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!"
(සළායතන සංයුත්තය - උද්දාන ගාථා)

Comments

Popular posts from this blog

ii බුද්ධ පරිනිර්වානය සහ ධාතු බෙඳා දීම.

බුද්ධ පරිනිර්වානය සහ ධාතු බෙඳා දීම. අප භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස් වසරක් බුදුකිස නිම කොට පිරිනිවන් මංචකයේ වැඩ හිඳ බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න ශ්‍රවකයෙකු වු සක් දෙවිඳුන්ට ප්‍රකාශ කරනවා. "දේවේනද්‍රය මාගේ බුද්ධ ශාසනය අනාගතයේ ආරක්ෂා වන්නෙ මේ ශ්‍රී ලංකා ධරණි තලයේ. ලංකා ධරණි තලය ආරක්ෂා කරන්න. බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා අනුග්‍රහය දක්වන්න." ඒසේම සම්බුදු මුවින් ප්‍රකාශ කරනවා. " පිරිනිවීමෙන් පසු මගේ ධාතුන්වහන්සේලා සොළොස් නැළියක් එනම් ද්‍රෝණ අටක් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස මාගේ අධිෂ්ඨානය පරිදි ඉතිරි වෙනවා. එයින් ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා ලංකාද්වීපයේ ඉදිවන මහා සෑය වෙනුවෙන් වෙන් වෙනවා. ඒ සඳහා උපකාර කරන්නැයි පවරනවා. අප භාග්‍යවතුන් වහන්සේ තවත් අධිෂ්ඨාන පහක් කරනවා. ඒ අධිෂ්ඨාන පහම කරන්නේ ලංකාව වෙනුවෙන්. පළමු අධිෂ්ඨානය තමයි ශ්‍රී ලංකාද්වීපයට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව වැඩමවද්දී ධර්මාශෝක මහ රජතුමා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ලඟට යනවිට දකුණු ශාඛාව පමණක් පෙනී අනෙක්...

i අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කිරීම.

අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ගාමිණි අභය රජු විසින් තැනු මේ ස්වර්ණමාලිමහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කිරීම. තුන් ලෝකයේම අසහාය මහා සෑ රජාණන් වහන්සේ තමයි ස්වර්ණමාලිමහා සෑ රජාණන් වහන්සේ. මහා සෑ රජාණන් වහන්සේ පිහිටි මේ භූමිය රහතන් වහන්සේලා අනුහය කෝටියක් වැඩ සිටි භූමියක්. මේ භූමියේ සෑම තැනක්ම රහතන් වහන්සේ නමක් වැඩ සිටි තැනක්.මේ මහා සෑය ගොඩනගපු ආකාරය ථුප වංශයේ හරිම ලස්සනට සඳහන් වෙනවා.ගඩොලින් ගඩොල මහා සෑය හැදෙන හැටි විස්තර වෙනවා. ලංකා ධරණි තලයේ බිහි වු ශේෂ්ඨතම රජු තමයි ගාමිණි අභය රජතුමා. එතුමා තමා මේ මහා සෑය ගොඩනැගුවේ. හරිම පුන්‍යවන්ත රජ කෙනෙක්. සසරේ පින් පිරූ රජ කෙනෙක්.සිංහල රාජ වංශයේ සක්විති රජු තමයි ගාමිණි අභය රජතුමා. ස්වර්ණමාලිමහා සෑයේ අප භාග්‍යවත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. දෙව්ලොව බඹලොව මනුලොව ගත්තාම අප බුදුරජාණන් වහන්සේගේ මේ සා විශාල ධාතු ප්‍රමාණයක් එකම ස්ථානයක වැඞ සිටින්නෙ නැහැ....

IV අසිරිමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වංශ කතාවේ පළමු කොටස

අසිරිමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...... උඳුවප් පුන් පොහෝ දවසේ දඹදිව් තලයේ රජ කල ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහය මත සංඝමිත් මහ රහත් තෙරණින් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරනවා. මේ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටුවීම මහ අනුභාවයක් පැතිරුනා මේ ලංකා ධරණී තලයට. අප භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත් වූයේ වෙසක් පුන් පොහෝ දින උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී. අප භාග්‍යවතුන් වහන්සේට උතුම් වූ බුද්ධත්වයට සෙවණ සැලසූයේ ඒ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ. සිද්ධාර්ත කුමාරයා වෙසක් පුන් පොහො දින උපදින විට ශ්‍රී මහා බොධීන් වහන්සේත් මේ පෘථුවියේ මධ්‍ය මණ්ඩලයේ හටගන්නවා. බුද්ධගයාවේ වජිරාසන භූමීය. මේ පෘථුවිය නැසී වැනසී යන කාලයේ අවසනයටම බිදී යන්නේ මේ වජිරාසන භුමීයයි. නැවත ධරණී තලයේ හට ගැනීමේ දී පළමුව හට ගන්නේද මේ වජිරාසන භුමීයයි. මේ වජිරාසන භුමියේ කිසි දිනක භූමීකම්පාවක් ඇතිවන්නේ නෑ. බුද්ධත්වයේදී මහ පොළොව කම්පා වෙනවා නමුත් වජිරාසන භූමිය කම්පා වෙන්නේ නෑ. බුද්ධ දේශනාවේ පවා එය සඳහන් වෙනවා. පෘථුවි...